පුංචි දිය කිඳුරියක් වගේ පිහිනන්න අපූරු හැකියාවක් තිබුණු, පංතියේ හැමදාම පළවෙනියා වුණු, හුරතල් පුංචි දෝනී අමාදී ගැන අම්මා දැකපු සුන්දර හීන අනන්තයි. අම්මාගේ ඒ හීන හැබෑවක් කරන්න, ඒ වගේම ප්‍රාර්ථනා අමාදිගේ හිතෙත් තියෙන්න ඇති.  

ඒත්... අද අමාදී පෙති මුකුලිත වුණු පුංචි මල් කැකුළක් වගේ . ඒ මල් කැකුළ ආයිත් විකසිත කරන්න පුළුවන් ආදරණීය හිත් තියෙන ඔබට විතරයි. ඔබේ හිතේ පිරී ඉතිරී තියෙන සෙනෙහසේ පිණි ‍පොදින් බිඳක් , ඒ මල් කැකුළට ඉසින්නට පුළුවන් නම් ඒ මල් කැකුළ විකසිත වේවි. ලෝකයම සුවඳවත් කරාවි.

කොම්පඤ්ඤ වීදියේ , ආරක්ෂක සේවා විද්‍යාලයේ 3 බි පංතියේ ඉගෙන ගනිමින් හිටපු වයස අවුරුදු 8ක් වන පුංචි තරුචා අමාදි හිටි හැටියේ අසනීප වුණේ හිතාගන්නත් බැරි විදියට. පවු‍ලේ හැමෝම ගිය විනෝද චාරිකාවකදී දිය ‍පොකුණක බැහැ ගෙන පුංචි එවුන් දිය බුං ගහද්දී, අමාදි වේගයෙන් පීනගෙන යන අපුරුව හැමෝම බලාගෙන හිටියේ ආසාවෙන්. හිටි හැටියේ අමාදි කෑ ගැහැව්වා කකුල රිදෙනවා කියලා. දියෙන් ගොඩට අරන් පුංචි පුංචි බේත්හේත් කළාට පස්සේ අමාරුව සනීප වුණත්, ඉන් පස්සේ දිගටම එයාගේ කකුල වේදනාවක් වුණා කියලා කියන්නේ අම්මා.

මම දුවව අරගෙන ඩොක්ටර් කෙනෙකුට පෙන්නුවා. හිතුවේ ආතරයිටිස් කියලා. ඒත් ඒක නෙමෙයි. පස්සේ කොළඹ රිජ්වේ ළමා රෝහලට ගෙනිච්චා. ළමා රෝහ‍ලේදී දෝනිව නවත්ත ගත්තා. දුවගේ ඉණ ප්‍රදේශයේ ඉඳලා දණහිස දක්වා එක්ස්රේ ගත්තා. තව ගොඩක් පරික්ෂණ කළා. එම්.ආර්.අයි. පරීක්ෂණයක් කරන්න ඕනේ කිව්වා. එතැන ඉඳන් දිගටම එක එක පරීක්ෂණ කළා. අවසානයේදී මහරගම පිළිකා රෝහලට දුවගේ විස්තර රෝහලින් යවා තිබුණා. එතැනදී තමයි දැන ගත්තේ දුවට තියෙන්නේ උකුල් ඇටය ඇතුළේ ඇතිවන පිළිකා තත්ත්වයක් කියලා. දුවගේ උකුල් ඇටය සම්පූර්ණයෙන් ඉවත් කිරීමට සිදුවෙලා තියෙන නිසා එම ඔපරේෂන් එක ලංකාවේ කරන්න බැහැ කියලා තමයි ඩොක්ටර්ස්ලා කිව්වේ. 

ඇයට වෛද්‍යවරුන් පවසා ඇති අන්දමට මෙම සැත්කම කිරීමට ඇයට දරුවා රැගෙන ඉන්දියාවේ බැංගලෝරයේ ඇපලෝ රෝහලට යා යුතුව තිබේ. මේ සඳහා රුපියල් ලක්ෂ 30කට වැඩි මුදලක් වැය වෙන බැවින් ඇය පසුවන්නේ කිසිවක් කරකියා ගත නොහැකි තත්ත්වයක ය.
මේ වන විට මහරගම පිළිකා රෝහ‍ලේ 15 බි වාට්ටුවේ කීමෝ තෙරපි දියණියට ලබා දෙමින් තිබේ.

දුවව ඉන්දියාවට ප්‍රතිකාර සඳහා ගෙන යනවා නම් ඒ වෙනුවෙන් ලක්ෂ 30ක විතර මුදලක් අපිට හොයා ගන්න වෙනවා. ප්‍රතිකාර හැරුණු විට සෙසු සියලු දේ වෙනුවෙන් ඒ තරම් මුදලක් අවශ්‍ය වෙනවා. මේ මුදල මට හොයා ගන්න විදියක් නැහැ. එහෙමයි කියලා දුව වේදනා විඳිනවා බලා ඉන්නත් බැහැ. මගේ දරුවා සුවපත් කරගන්න අපිට උදව් වෙන්න කියලා මනුස්සකම් පිරුණු හැමෝටම කියන්න විතරයි මට පුළුවන්.  

ඇය සුසුම්ලමින් පවසන්නීය.

අමාදි දියණිය වෙනුවෙන් ඔබේ දයාබර දෑත දිගු කළ හැකි නම් ඇය සුවපත් වනු ඇත.

ඔබේ මනුස්සකම මෙම බැංකු ගිණුමට බැර කළ හැකි නම් ඇය පෙරදා සේම ප්‍රීතිමත් දියණියක සේ මල් හසරැලි නගනු ඇත.

ඩී.ඩී. මනම්පේරි, කොමර්ෂල් බැංකුවේ 8570024526  සහ  හැටන් නැෂනල් බැංකුව 046020261807 යන ගිණුම් අංකවලට දියණිය වෙනුවෙන් කිසියම් මුදලක් පරිත්‍යාග කළ හැකි නම්, ඔබේ මනුස්සකම, ආදරය, සෙනෙහස පිරි එම මුදල එසේ බැර කරන ලෙසට දිල්ශානි ඩයස් මනම්පේරි නම් වූ අමාදිගේ මව ඉල්ලා සිටින්නීය.

ඩී.ඩී. මනම්පේරි, අංක 48/8, ස්වර්ණ චෛත්‍ය පාර, ග්‍රෑන්ඩ්පාස්, කොළඹ 14 යන ලිපිනයට හෝ දුරකථන අංක 0725842922 යන අංකයට අමතා අමාදි වෙනුවෙන් දයාබර ඔබට තවත් යමක් කළ හැකිය.

Next
This is the most recent post.
Previous
Older Post
 
Top