සිය මව්පිය දෙපළම නැවතත් විවාහයන් සිදු කර ගැනීම හේතුවෙන් අසරණ වූ සිගිති දැරියන් දෙනෙකු  සිය මිත්තණිය සමගින් අහිමි වූ  මව්පිය සෙනෙහස රැකවරණය පරදා දිවිය දිනා ගැනීමට අගහිගකම් මධයයේ උත්සහ දරති.මව්පිය සෙනෙහස රැකවරණය අහිමිව අගහිගකම් මැද ජිවිතය දිනන්නට පුංචි මල් කැකුළු දෙකක් වෙහෙසෙන බව එප්පාවල කටියාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු වන ලලන්ත කුළසිංහ මහතා අපට පැවසීය. 

මව්පිය සෙනෙහස තරම් දරුවකුට වටිනා වෙනත් උතුම් සෙනෙහසක් මේ ලොව තවත් නැත.දරුවකු කුඩා කළ සිටම මව් පිය සෙනෙහසට උණුසම මෙන්ම රැකවරණය ලබන්නට බොහෝ ලෙස ඇලුම් කරති. මව්පිය දෙපළදරුවකු කුස පිළිසිදගත් දවසේ සිට මරණය දක්වා තම දරුවන් වෙනුවෙන් මුළු දිවියම කැප කරමින් කටයුතු කරති. අනන්ත අප්‍රමාණ අපේක්‍ෂාවන් තම හදවතෙහි පොදි බැඳ ගනිමින් දරුවන් හදන වඩන මව් පියවරු දරුවන් වෙනුවෙන් ආදර්ශවත් මහඟු මෙහෙවරක් ඉටු කිරීම අගය කළ යුතු ය.

එහෙත් අවාසනාවකට මෙන් කලාතුරකින් හෝ ඇතැම් විට මව් පදවිය මෙන්ම පිය පදවියෙහි ද වටිනාකම මැනවින් තේරුම් නොගත් අකාරුණික වුවන් තම දරුවන් අතරමං කර දමා යන අවස්ථා නැතුවා නොවේ.කෙතරම් ගුණවත්, නැණවත්, කාරුණික මව් පියවරුන් අතර වුවද කලාතුරකින් හෝ තම දරු සම්පත ගැන නො සිතා කටයුතු කරන මව් පිය නාමයෙන් පෙනී සිටින එවැන්නන් සිදු කරන එවන් අනුවණකම් නිසා ම උතුම් මව් පිය පදවිය පවා ගැරහීමටද  ලක් වන්නේය.

ඒ මහතාගේ තොරතුරට අනුව දරුවන් දෙදෙනා දිවි ගෙවන කුඩා පැල්පතට අප ගොඩ වැදුනෙමු.පාසල් වයසේ පසුවන දියණියන් දෙදෙනාගේ පියා කුඩා කලම ඔවුන් අතහැර වෙනත් කාන්තාවක් විවාහ කරගෙන තිබූ අතර ඊට ටික කලකට පසුව දියණියන් දෙදෙනාගේ මව වෙනත් පුද්ගලයකු සමග විවාහවී තිබේ .ඇය පිළිබද අද වන විට කිසිදු තොරතුරක්වත් දැන ගන්නට නොමැති බව පවුලේ ඥාතීහූ පවසති.දෙමාපියන්ගේ අසම්මත ප්‍රේමයන් නිසාවෙන් මහ මගට වැටී අනාරක්ෂිත වන්නට ගිය හය හතර නොදත් අහිංසක මේ දැරියන් දෙදෙනාට අවසානයේ පිහිටි ඇත්තේ දරුවන්ගේ පනස් තුන් හැවිරිදි මිත්තණියයි.

දැරියන් දෙදෙනාගේ මිත්තණිය වන ඒ.යූ සුමනාවතී (53) මහත්මිය අපත් සමගින් කියා සිටියාය මගේ ලොකු දුව බැදලා හිටපු එක්කෙනා දාලා ගියා.දුවත් පුළුවන් තරම් උත්සාහ කළා මේ දරු දෙන්නා ජීවත් කරන්න.බැරිම තැන එයත් වෙන අතක් බලාගෙන ගියා.මට කර කියා ගන්න දෙයක් නැති වුණා.මේ දරුවොන්ගේ දෙමාපියෝ ණය වෙලා තිබුණා ගමේ තැන්තැන් වලට, අපි හිටපු ඉඩම විකුණලා ඒ ණය ටික ගෙව්වා.ළමයිට ටොෆියක් අරන් දෙන්න තරම්වත් වත්කමක් නෑ මට.ඊට පස්සේ ඉඩම ගත්තු කට්ටිය කිව්වා දැන් ඕගොල්ලෝ අයින් වෙන්න අපට ඉඩම ඕන කියලා.ළමයිනුත් අරන් මං මහ පාරට බැස්සා.

මගේ අක්කගේ පුතා පොල් අතු ටිකක් ගෙනැල්ලා මේ පුංචි පැළ අටවලා දුන්නා අපිට ඉන්න.එතන ඉදන් මං පුළුවන් විදිහට කුලියක් කරගෙන ඇවිල්ලා මේ දරු දෙන්නා උස්මහත් කරන්නේ.අපිට ඉන්න ගෙයක් හදා ගන්න විදියක්නෑ.ඒ කුලියෙන් ගෙයක් දොරක් හදාගන්න බෑ, මට පොඩියට ගේ කෑල්ලක් හදාගෙන මේ දරු දෙන්නාට උගන්න ගන්න තිබුණානම් ඇති යැයි ඇය කදුලු සලමින් කියා සිටියාය.

මව්පිය සෙනෙහස අහිමි වැඩිමහල් දියණිය වන අනුෂ්කා ප්‍රියදර්ශණී පිලපිටිය වයස අවුරුදු 13ක් වන ඇය මේ වන විට කටියාව යාය 01 විදුහලේ  08 ශ්‍රෙණියේ ඉ‍ගෙනුම ලබන අතර ඇය සෑම වාර විභාගයකදීම පන්තියේ ප්‍රථම ස්ථානය ලබා ගැනීමට සමත්ව සිටින්නීය.දෙවැනි දියණීය වන ඉරේෂා මධුෂාණි පිලපිටිය කටියාව යාය 01විද්‍යාලයේ  05 ශ්‍රේණියේ ඉගෙනුම ලබයි.

මගේ අම්මා මාව දාලා යනකොට මට අවුරුදු 10 යි.මගෙ තාත්තත් මාව චූටිකාලේ දාලා ගියා.එතකොට මගේ නංගි චූටියි. අද වෙනකන්වත් අපිව බලන්න ආවේ නෑ. අපිව බලා ගන්නේ අපේ කිරි අම්මා.අපිට ඉන්නවත් තැනක් නෑ.අපි ඉන්නේ පොල් අතු වටකරගෙන.අපි රෑට පාඩම් කරන්නේ කුප්පි ලාම්පු එලියෙන්.වහින දවස් වලට තෙමෙනවා.අපේ පොත් තෙමෙනවා.ඉතින් අපි ගැන අනුකම්පා කරලා මාමා කෙනෙක් හරි නැන්දා කෙනෙක් හරි අපිට ගෙයක් හදලා දෙනවානම් ලොකු පිනක් යැයි ඇය පැවසුවාය.

(077-9001717 / 071-9510229)




 
Top