රුපියල් ලක්‍ෂ 35ක්ව පැවැති ජාන බද්ධ සැත්කම රජය විසින් පැනවූ බදු හේතුවෙන් ලක්‍ෂ 42ක් ඉක්මවා යෑම නිසා අමතරව එක්වූ රුපිල් ලක්‍ෂ 10කට වැඩි මුදල සොයා ගැනීමට නොහැකිව තම දියණියගේ සැත්කම වෙනුවෙන් හැඬ­ූ­ කඳුළින් පසුවන මවුපිය යුවළක් පිළිබඳ පුවතක් මිහින්තලේ වෙල්ලාරගම ප්‍රදේශයෙන් වාර්තා වේ.

උපතේ සිට තැලසීමියා රෝගයෙන් පෙළෙන අවුරුදු තුනක් වයසැති මිහින්තලේ වෙල්ලාරගම පදිංචි අරුන්දි නවෝද්‍යා සේනාරත්න දැරියට සැත්කමක් කිරීම සඳහා ඇයගේ මවුපියන් මහජනතාවගේ ආධාර අපේක්‍ෂා කළ අතර පුවත්පත් මඟින් මෙම පුවත පළ වූ පසු ඊට යහපත් ප්‍රතිචාර ලැබී මුදල් පරිත්‍යාගද ලැබී තිබුණි.

ඒ අනුව වැට් බද්ද පැනවීමට පෙර නියම කරන ලද මුදල් ගෙවා සැත්කම සිදුකර ගැනීම සඳහා විමසීමට පෞද්ගලික රෝහලක් වෙත ඉකුත්දා ගිය විට එහිදී ඇයට පවසා ඇත්තේ බදු මුදල් වැඩිවීම හේතුවෙන් සැත්කම සඳහා පෙර නියම කෙරුණ මුදලට වඩා තවත් රුපියල් ලක්‍ෂ 10ක පමණ මුදලක් අමතරව එක් වන බවකි. දිළිඳු මවක වන ඇය හැඬ­ූ­­ කඳුළින් නැවත තම නිවෙස කරා පැමිණි බවත් දැරියගේ සැත්කමට වැට් බද්ද හරස්වීම දරු සෙනෙහස පිරුණ සිතකට දරා ගැනීමට අපහසු බවත් එදා සිට යළිත් මුදල් සම්මාදමේ යෙදීමට සිතා ගත් බවත් ඇය පැවැසුවාය. තමන් මුහුණ දුන් අවාසනාවන්ත සිද්ධියට මෙවැනිම දරුවන් සිටින මවුපියන් රැසක් මුහුණදී සිටින බවද ඇය පැවැසුවාය.

තම වැඩිමහල් සහෝදරයාගෙන් ලබා ගන්නා ජාන අරුන්දිට බද්ධ කිරීමට රුපියල් ලක්‍ෂ 35ක මුදලක් වැය වන බවට පෞද්ගලික රෝහලක විශේෂඥ වෛද්‍යවරුන් මීට වසරකට පමණ ඉහතදී තහවුරු කර තිබුණි. එම සැත්කමෙන් අනතුරුව මාස තුනක පමණ කාලයක් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබීමට ද සිදු වන බව වෛද්‍යවරුන් ප්‍රකාශ කළ බව දැරියගේ මව වන ඉන්දිකා සමන්මලී නානායක්කාර මහත්මිය පැවැසුවාය.

දැරියගේ පියා වන ජේ. මහින්ද සේනාරත්න මහතා යුද හමුදාවේ සාමාන්‍ය සෙබළකු ලෙස සේවය කරන අතර තම පවුලට වෙනත් ආදායම් මාර්ගයක් නොමැති හෙයින් මාසික වේතනයෙන් මෙම කටයුතු සඳහා මුදල් වෙන් කර ගැනීමට නොහැකි බව පවසයි.

දරුවන් තිදෙනකුගෙන් සමන්විත පවුලේ ළාබාල දියණිය වන අරුන්දි සුවපත් කර ගැනීමට ආධාරයක් කළ හැකි අයකු වෙතොත් ලංකා බැංකුවේ 76593526 දරන ගිණුමට ආධාර ලබා දෙන ලෙසත් 0783911207, -0783911206 දුරකතන අංක අමතා තොරතුරු ලබාගත හැකි බවත් ඇය ප්‍රකාශ කළාය.

 
Top