පුද්ගලික බස් රථ හිමියකුගේ මැර ප්‍රහාරයකට ලක්වී මාස හතක පමණ කාලයක් ඉතා අසාධ්‍ය තත්වයෙන් ප්‍රතිකාර ලබමින් පසුවන කතරගම බස් ඩිපෝවේ කොන්දොස්තර වරයෙකුට ප්‍රතිකාර හා ජීවනාධාරයක් ලෙස සේවකයින් එක්වී තම වැටුප් වලින් එකතු කරන ලද රුපියල් ලක්ෂ පහක පමණ මුදලක් ඉකුත්දා භාර දුන්නේය.

මීට පෙර අවස්ථා දෙකකදීම ප්‍රකිකාර සදහා තවත් රුපියල් ලක්ෂ තුනකට ආසන්න මුදලක් පිරි නැමූ බවද සේවකයෝ කියා සිටියහ.

අම්බලන්තොට චිත්‍රාගල පදිංචි එච්.එච්.දිනේෂ් ප්‍රියදර්ශන නමැති මෙම කොන්දොස්තරවරයා ඉකුත් 2015.07.02 දින කතරගම සිට කොළඹ බලා රාජකාරියේ යෙදී ගමන් කරමින් සිටියදී ගාල්ල තෙල්වත්ත ප්‍රදේශයේදී රාත්‍රී 8 ට පමණ පුද්ගලික බස් රථ හිමියෙකු මෙහය‍වූ මැර කණ්ඩායමක් බස් රථය තුලට ගොඩවී පහර දී බස් රථයෙන් පිටතට ගෙන අසල තිබු විදුලි කණුවක හිස හප්පා බරපතල තුවාල සිදුකොට තිබින.

මෙම කොන්දොස්තර වරයා සිහිසුන්ව කරාපිටිය රෝහලට ඇතුලත් අනතුරුව කොළඹ ජාතික රෝහල වෙත යවා තිබින.ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ මාස දෙකකට ආසන්න කාලයක් ප්‍රතිකාර ලබාදී ඥාතීන්ගේ පහසුව උදෙසා මොහු මාතර මහ රෝහල වෙත එවා ඇත.දින ගණනාවකින් පසු වෛද්‍යවරුන්ගේ උපදෙස් මත මොහු මාතර ප්‍රදේශයේ නිවසක් වෙත ගෙන ගොස් ප්‍රතිකාර ලබාදෙමින් පසුවේ.

මෙම පහර දීම නිසා මොළයේ ස්නායු පද්ධිතියට හානි ඇති බැවින් ඔහු ට දියර ආහාර පමණක් බටයක අධාරයෙන් ලබාදේ.

මීට අමතරව පෞද්ගලික ගිලන් රථයකින් සායනය වෙත යාමටත් වෛද්‍යවරු කැදවාගෙන විත් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවීම නිසා මසකට රුපියල් 80,000 පමණ මුදලක් වැය වන බව ඔහුගේ බිරිය පවසයි.

ඔහුගේ බිරිය වන නිල්මිණි දමයන්ති මහත්මියද අක්ෂි ආබාධයකට ලක්වී ප්‍රතිකාර ලබන අතර අවුරුදු හතර, හය වයසේ දරුවන් දෙදෙනෙකුද නඩත්තු කිරීමට සිදුවී ඇති බවද ඩිපෝ සේවකයින් පෙන්වා දෙති.

දිවයිනේ සියලුම ඩිපෝ වල ශුභ සාධක අංශ වලින් සහ මහජනයාගෙන් කාරුණික ඉල්ලීමක් කරන කතරගම ඩිපෝ සේවකයින් මෙම අසරණ රෝගියා සුව කර ගැනීම සදහා ආධාර දීමට කැමති කෙනෙක් සිටී නම් කතරගම මහජන බැංකුවේ පවත්වාගෙන යන ලබන 168200158398128සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිනුමට මුදල් බැර කල හැකි බවත් වැඩි විස්තර දැන ගැනීමට අවශ්‍ය කතරගම බස් ඩිපෝවේ අංක 0472235281 යන දුරඛතන අංකයෙන් වැඩි විස්තර ලබා ගත හැකි බවද පවසති. පහත සදහන් පින්තූර වලින් දැක්වෙනුයේ අසාධ්‍ය තත්වයෙන් ප්‍රතිකාර ලබන කොන්දොස්තර එච්.එච්.දිනේෂ් ප්‍රියදර්ශන මහතාය.
  
 
Top