ඉඳුරුවේ, කයිකාවල නිවෙසක් මතට බෝ ගසක විශාල අත්තක් කඩා වැටීමෙන් එම නිවෙස සහමුලින්ම පොළොවට සමතලා වී ඇත. පසු ගිය සිකුරාදා අලුයම 1.00 ට පමණ සිදු වූ මෙම අනතුරෙන් උන් හිටි තැන් අහිමි වූ  ඩබ්ලිව්. ඩී. පත්මා රෝහිණී  සහ යූ. ඩබ්ලිව්. උරේෂා ජයමාලී යන මව සහ දියණියගේ ජීවිත බේරී ඇත්තේ හාස්කමකින් මෙනි. 

පත්මාගේ සැමියාද මීට වසර හතකට පමණ පෙර හදිසි රෝගා බාධයකින් මියගොස් ඇති අතර සිද්ධිය වූ දින මැදියම් රැයේ සිට විවිධ ශබ්ද නිවෙසට පිටින් ඇසෙන්නට වූ නිසා අවදියෙන් සිටි බවත් අනතුරක සේයාව දැන තමා දුවත් සමග නිවෙසින් එළියට යනවාත් සමගම නිවෙස පිටුපස තිබූ බෝ ගසේ විශාල අත්තක් පොල් ගසක්ද කඩා ගෙන තම නිවෙස සමතලා කරමින් බිම පතිත වූ බවත් පත්මා රෝහිණී මහත්මිය පැවසුවාය.

ජීවත් වීමට කිසිදු ආදායම් මගක්ද නැති මෙම පවුලට නැවත නිවෙසක් ගොඩ නගා ගැනීමට කිසිදු ක්‍රමයක් නොමැත. දැනට තාවකාලිකව අසල්වැසි නිවෙසක සිටින මෙම පවුලේ තරුණ දියණියට ආරක්ෂාකාරී වටාපිටාවක්ද අවශ්‍යව ඇති නිසා ඔවුන්ට නිවෙසක් තනා ගැනීමේ කාර්යයට මෙය කියවන දනට පිනට කැමති අයගේ ආධාර උපකාර බලා පොරොත්තු වේ. එසේ කැමති අයෙක් වෙතොත් 0711614389 හෝ 0777586813 යන දුරකතන අංකයකට ඇමතීමෙන් ඒ සඳහා දායක විය හැකිය.




 
Top