අපි ජීවත් වෙන්නේ බලාපොරොත්තු ගොන්නක් පොදි බැඳගෙන. ඒ අහිංසක බලාපොරොත්තු ප්‍රාර්ථනා, සිහිනයක් නොවී යථාර්ථයක් වන්නේ අපේ උනන්දුව සහ උත්සාහය මත යැයි කීවොත් එය බොරුවක් නොවෙයි. කෙසේ වුවත් ලොව මිනිසුන් හැටියට උපදින සෑම කෙනකුම සර්ව සම්පූර්ණ අය වන්නෙත් නැහැ. ඔබටත් මටත් අපි සැමටත් ශාරීරික හෝ මානුෂිකව කිසියම් අඩුපාඩුවක් තිබිය හැකියි. දෛවය කෙසේ සරදම් කළත් අධිෂ්ඨානය, කැපවීම තුළින් අරමුණු කරා ගොස් ජිවිතය ඒක‍ාලෝකවත් කරගත් මිනිසුන් ද අපට හමු වෙයි.

නවෝදි හංසිකා එවන් දියණියකි. 2005 වසරේ උපත ලද ඇය බණ්ඩාරවෙල, පට්ටියගෙදර ලෙව්වගොඩ 'කාන්ති' නිවෙසෙහි පදිංචි ඊ. එම්. සුසන්ත මහතාගේ වැඩිමහල් දියණියයි. ඇයට දෑත් දෙපා හොඳින් ඇති තම සහෝදර සහෝදරියන් සමඟ දෙපයින් සිට ගැනීමට නොහැකි වූයේ දෛවය ඇයට අභියෝග කර තිබූ නිසයි.

ඇය ඉපදී තිබුණේ ඇගේ දකුණු පාදයේ දණහිසට පහළින් අස්ථිය නොමැතිවය. එය තම සාමාන්‍ය ජීවිතයට මෙන්ම විශේෂයෙන් අධ්‍යාපන කටයුතුවලට බාධාවක් කර නොගැනීමට තරම් ඇය ධෛර්යවන්ත වූවාය.

2011 වර්ෂයේ බ/ කටුගහ ශ්‍රී ධම්මාලංකාර විද්‍යාලයෙන් පළමු ශ්‍රේණියට ඇතුළත් වන්නේ විශේෂ දක්ෂතාවලින් පිරිපුන් දැරියක ලෙසිනි. කෙතරම් බාධක මැද්දේ වුවද පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 167 ක් ලබා සමත් වූ ඇය කිලෝමීටර් එකහමාරක් පමණ දුරක් ගෙවා දිනපතා පාසලට පැමිණියේ තම පියාගේ උර මතිනි.

මේ වන විටත් ඇය සැත්කම් තුනකටම භාජනය වී සිටී. පාසල් ජීවිතයෙන් වැඩිම කාලයක් ගත වූයේ කොළඹ ජාතික රෝහලේය. මේ කාලයේ අතපසු වූ සියලු කටයුතු සඳහා පංති භාර ගුරුවරු, දෙමාපියන්, ඥාතින්, මිතුර මිතුරියන්ගේ මහඟු සහයෝගයක් ලැබුණි. තනිවම තම ශාරීරික අවශ්‍යතා ඉටුකර ගැනීමට නොහැකි ඇය ඉතා නිර්භීතව හා නොසැලී තම අධ්‍යාපන කටයුතු ඉතා සාර්ථකව කරගෙන ගියාය. ඇගේ මෙම උත්සාහය සෑම ශ්‍රේණියක ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ප්‍රමාණවත් විය. එතරම් ඇය දක්ෂය. සුවිශේෂී මතක ශක්තියක් මෙන්ම මනා ගායනා හැකියාවක් සතු ඈ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම ඇය දක්ෂතා පෙන්වන හපන්නියකි.

අනාගතයේ තාරකා විද්‍යාඥවරියෙක් වීමේ සිහිනය ඇය ප්‍රකාශ කර ඇත්තේ පෙර පාසල් අවදියේදීය. වැඩිදුර අධ්‍යාපනය හැදෑරීමට වෙනත් පාසලකට යාම ඇගේ අභිලාෂය වුවත් කෘෂිකාර්මික ආර්ථික පසුබිමක් තුළ ඇගේ පියාට එය ගැටලුවක් වනුයේ ඇය සමඟ දිනපතා පාසල් යාමට සිදුවීමත් ස්ථිර ආදායම් මාර්ගයක් නොතිබීමත් නිසාවෙනි.

දුෂ්කර ප්‍රදේශයක ඉපිද උපතින්ම ලද තම ශාරීරික ආබාධය පසෙකලා අධ්‍යාපනය සාර්ථකව ඉටුකර ගැනීමට වෙර දරන මෙවන් දියණියක් ‍රටටම ආදර්ශයකි. එවන් දරුවකුට අතහිත දීම ඔබෙත් මගෙත් සමාජ වගකීමකි.

මිනිසත් කම අගයන රසඳුන පාඨක ඔබට නවෝදි හංසිකාගේ ධෛර්යවන්ත ජීවිතයට පුංචි හෝ අත්වැලක් ශක්තියක් විය හැකි නම් එය ඉතා උතුම් පුණ්‍යකර්මයක් ද වෙයි.

පොළොව සමඟ ඔට්ටු වී දහදිය හෙළා උපයා ගන්නා පුංචි සොච්චමකින් තම දියණියගේ ජීවිත සිහිනය සැබෑ කරන්නට වෙහෙසෙන උදය කුමාරට 0726654664 යන දුරකතන අංකය ඔස්සේ කතා කරන්නට ඔබටත් පුළුවන්.
 
Top